විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැතිද?

August 12, 2024
20240801_EE_Cheenun_BCDone
අගෝ. 01, 2024 දින අරුණ පුවත්පතේ එකම පිටුවේ චීන ජාතිකයින් සම්බන්ධව පළ වී තිබූ පුවත් වාර්තාවන් දෙකක් අපගේ අවධානයට පාත්ර විණි. එම පුවත් සිරස්තලයන් මෙසේය.
* “චීන ජාතිකයන් දහසය දෙනෙකුගෙන් ලක්ෂ 40ක භාණ්ඩ, මුදල් කොල්ලකාලා”
* “කන්දකුලිය ලැගුම්හලකින් චීන්නු 55ක් අත්අඩංගුවට”
මෙහිදී අවධානයට ලක් වන කරුණක් වන්නේ, මෙම පළමු සිරස්තලයෙන් දැක්වෙන සිදුවීමේ වින්දිත පාර්ශවය වී ඇත්තේ චීන ජාතිකයින් පිරිසක් බවයි. දෙවන සිරස්තලයෙන් දැක්වෙන සිදුවීමේදී චීන ජාතිකයින් පිරිස සැකකරුවන් වේ.
ඒ අනුව,
1) චීන ජාතිකයින් සම්බන්ධ සෘණාත්මක පසුතලයක් ඇති පුවතක් තුළ, චීන ජාතිකයින් ව හැඳින්වීමට “චීනා”, “චීන්නු” වැනි යෙදුම් භාවිතා කිරීමෙන්, පොදුවේ චීන ජාතිකයින් කෙරෙහි අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පයක් සමාජය තුළ ඇති නොවෙන්නේ ද?
2) එකම පුවත්පතේ, එකම දිනයක, එකම පිටුවක චීන ජාතිකයින් සම්බන්ධ වන පුවත් සිරස්තල දෙකක, එකක “චීන ජාතිකයන්” යනුවෙනුත්, අනෙක් සිරස්තලයේ “චීනුන්” යනුවෙනුත් දැක්වීමෙන් අදහස් වන්නේ, යම් කිසි විදේශිකයෙකු හෝ පිරිසක් යම් වරදකට සැකකරුවන් හෝ වැරදිකරුවන් වන්නේ නම්, ඔවුන් අවමානාත්මකව හැඳින්වීමේ ගැටළුවක් නැති බවද? නමුත්, එයද පොදුවේ ඉහත කියූ අවමානාත්මක හා කොන් කිරීමේ ආකල්පය ඇති කිරීමට අනුබලයක් නොවන්නේ ද?
විදේශ ජාතිකයින් හැඳින්වීමට නිෂේධනාත්මක යෙදුම් භාවිතා නොකරමු!