මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින්ට වෛද්‍ය නිර්දේශයකින් තොරව වේදනානාශක ඖෂධ අලෙවි කිරීමේ චෝදනාවට පෞද්ගලික රෝහලක තිදෙනෙක් අත්අඩංගුවට පත් වූ පුවත, දිවයින, දිනමිණ සහ මව්බිම (ජූලි 24, 2024) පුවත්පත් තුළ මෙසේ දැක්වී තිබිණි.
මෙහිදී පුවත් සිරස්තල තුළ සහ අන්තර්ගතයන් තුළ, “කුඩු ලෝලීන්”, “කුඩ්ඩන්”, සහ “මත්ලෝලීන්” යන යෙදුම් ඔස්සේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව හඳුන්වා තිබිණි.
1) මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ද සමාජයේම කොටස් වෙයි. “කුඩ්ඩන්” වැනි යෙදුම් ඔස්සේ ඔවුන්ව සෘණාත්මකව ලේබල් කිරීමෙන්, ඔවුන්ට නිසි පුනරුත්ථාපනයකින් පසුව වුවද සමාජයට එකතු වීමට බාධා ඇති නොවන්නේ ද? එය ඔවුන් පිළිබඳව සමාජය තුළ කොන් කිරීමේ සහ ගර්හාවේ ආකල්ප වැඩි දියුණු කිරීමට හේතු නොවන්නේ ද?
2) මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම යනු, සංකීර්ණ කරුණු හේතු කොට ගෙන ඇති වන, නිසි ප්‍රතිකාර සහ සහාය ඔස්සේ භාවිතා කරන්නාව මුදා ගත හැකි තත්වයක් මිස, හුදු මත්ද්‍රව්‍ය සඳහා “ලොල් වීමක්” නොවන බව අවබෝධ කර ගත යුතු කරුණකි. එසේ නම්, “කුඩු ලෝලියා” “මත්ලෝලියා” වැනි යෙදුම් තුළින්, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වැරදි අදහසක් සමාජගත නොවන්නේ ද?
3) මෙම කරුණු දෙකම නිසා ඇතිවිය හැකි සමාජ ආකල්ප, මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇති වන සමාජ ප්‍රශ්න විසඳීම සඳහා තවත් බාධාවක් නොවන්නේ ද?
ධනාත්මක සමාජයක් වෙනුවෙන් සෘණාත්මක ලේබල්කරණයන්ගෙන් වළකිමු!

0 Comments