අනංගයෝ?

September 29, 2025

පාර්ලිමේන්තුවේ සේවය කරන සේවිකාවන්ට – විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ඒකකයේ සේවිකාවන්ට- නිතර නිතර සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර පිළිබඳව මාධ්‍ය වලින් වාර්තා වූ බව පවසමින්, ඒ පිළිබඳව සොයා බලන ලෙසට මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා සිටි බව ලංකාදීප සහ මව්බිම පුවත්පත් (ජන. 08, 2025) මෙන්ම රූපවාහිනී මාධ්‍ය ද වාර්තා කර තිබිණි.

මෙම පුවත ලංකාදීප සහ මව්බිම ඉදිරිපත් කර ඇත්‍තේ මෙසේය:

* ලංකාදීප – “මැතිසබයේ “අනංගයෝ” කතානායකට පැමිණිල්ලක්”

* මව්බිම – “පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන ලිංගික හිරිහැර ගැන සොයා බලන්න, මන්ත්‍රී මුජිබර් රහුමාන් කියයි”

පුවත් ඉදිරිපත් කිරීමේදී උපරිම කෙටියෙන්, නිර්මාණශීලීව සිරස්තල යෙදීමට මාධ්‍ය වෙත ඇති අයිතිය ගැටළුවක් නොවේ.

කෙසේ වුවත්, ලිංගික හිරිහැර සිදු කළ බවට පැවසෙන සැකකරුවන් සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී, ශෘංගාරය නැතිනම් ප්‍රේමය සම්බන්ධයෙන් බොහෝ විට සංකේතවත් වන “අනංගයා” යන්න යොදා ගැනීම ඔස්සේ මෙම සිදුවීමේ බරපතල භාවය සැහැල්ලු කොට නොදැක්වෙන්නේ ද?

පාර්ලිමේන්තු සේවිකාවන්ට සිදුවන බවට පැවසෙන ලිංගික හිරිහැර එසේ සැහැල්ලු කොට දැක්වීමෙන්, මෙවැනි වරදක් සාමාන්‍යකරණය වූ ආකල්පයක් සමාජය තුළ ඇති නොවන්නේද?

ඒ අනුව, මෙම සිදුවීම වඩාත් ආචාර ධාර්මිකව දක්වා ඇත්තේ මව්බිම පුවත නොවේද?

ලිංගික අපරාධ සැහැල්ලු කොට වාර්තා නොකරමු!